Saturday, March 21, 2009

වින්ඩෝස් වලට මොකක් වෙයිද?

වින්ඩෝස් 7 දැන් බොහෝ දෙනෙක් පාවිච්චි කරයි. එහි ඇති character recognizing tool එක අලුත් දෙයක්,මෙහිදී අප ලියන ඉංග්‍රීසි අකුරු පරිගණකය විසින් හදුනා ගනී.ඊට අමතරව ගණිත සමීකරණ හදුනා ගැනී‍මේ වැඩසටහන මෙන්ම Windows Journal වැනි වැඩසටහන් චිද්‍යාත්මක හා අධ්‍යයන කටයුතු වල යෙදෙන්නන්ට වැදගත් වෙනවා.අපේ විශ්ව විද්‍යාලයේ ආවාර්යවරුන්ද දැන් දැන් කලු ලෑල්ල වෙනුවට මෙවැනි වැඩසටහන් භාවිතා කරනවා. මෙතෙක් කලක් මිල අධිකව තිබූ මෙම වැඩසටහන් දැන් වින්ඩෝස් සමග නොමිලේ ම ලබා දී ඇත.
තවද විස්ටා සමග මුලින්ම හදුන්වා දුන් speech recognition පහසුකම තවම එතරම් දියුණු වී නොමැති බව පෙනේ.යම් උපදෙසක් පරිගණකයට දෙතුන් පාරක්ම කියන්න සිදුවේ.කෙසේ නමුත් මෘදුකාංග තාක්ෂණය කෘතීම බුද්ධියක් කරා කෙමෙන් ඇදෙමින් පවතී.‍
එහෙත් තව නොබෝ කාලයකින් සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග පුද්ගල පරිගණකයෙන් ප්‍රොසෙසරය.දෘඩ තැටිය ඇතුලු උපාංග ඉවත්වී ඒවා වෙනුවට ඈත එපිට රටක පවතින පරිගණකයකින් වැඩ ගැනීමේ කාලයක් බිහිවේ.මෙහිදී මේ සදහා අවශ්‍ය වන ඉතා අධිවේගී ජාල සේවා සපයන්නාට හා සුපිරි පරිගණක දෘඩාංග සේවා සපයන්නාට මුදල් ගෙවීමට සිදුවනු ඇත.මෙලෙස සංනිවේදන තාක්ෂණයේ දියුණුව පරිගණකය දෙකඩ කරද්දී එයම Microsoft සමාගමේ ආධිපත්‍ය බිද හෙලනු ඇත.ඒ වන විට අන්තර්ජාලයේ සේවා ආධිපත්‍ය ලබා සිටින Google සමාගම නොමිලේ දායක පරිගණක සේවා සැපයීම හා මෘදුකාංග සැපයීම මීට මූලික හේතුවයි.Google Earth මෘදුකාංගය මීට හොද උදාහරණයක් වේ.ජාල සේවා මිල ඉතා අඩුවීමත්,පරිගණකය තව දුරටත් හුරුබුහුටි වීමත්, නොමිලේ මෘදුකාංග සැපයීමත්, අන්තර්ජාල පරිහරණය පහසු වීමත් මත මෙම ක්‍රමය ඉතා ජනප්‍රිය වනු ඇත.

Saturday, March 14, 2009

NANOTECHNOLOGY අනාගත විප්ලවය

මේ වන විට ලෝකයේ වඩාත්ම කුතුහලයෙන් කතා වන අනාගත තාක්ෂණ විපර්යාසය වන්නේ Nano තාක්ෂණයයි.මෙම තාක්ෂණයෙන් කල හැකි දේ පිළිබද නොයෙකුත් කතා ඔබ අසා ඇති බව නොඅනුමානයි.එහෙත් මෙම තාක්ෂණය තුලින් කල හැකි දේ පිළිබද නිවැරදි අවබෝධයක් මේ පිළිබද පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයන්ට පවා මෙ‍තෙක් ලබා ගත නොහැකි වී ඇත.එහෙත් මෙම තාක්ෂණය පිළිබද යම් ආකාරයේ වැටහීමක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.

 ඉතා කුඩා නැනෝ මානයෙන් සිදුකරන්නා වූ, පරමාණු කණ්ඩායම් මිනිසාගේ සුභ සිද්ධිය උදෙසා සකස් කොට පරිපූර්ණ මට්ටමේ පදාර්ථ සකස් කිරීම මෙහිදී සිදු වේ.මේ තුලින් ස්වභාව ධර්මය ඉදුරාම වෙනස් කිරීමට මිනිසා සමත් වනු ඇත.

වසර 2015 වන විට ශ්‍රී ලංකාව ආසියාවේ නැනෝ තාක්ෂණයේ ප්‍රමුඛතම දේශය බවට පත් වීමේ අරමුණින් මෙරට මෙම තාක්ෂණය පිළිබද පරීක්ෂණ සිදු කිරීමේ මූලික ක්‍රියා මාර්ග ගෙන ඇත.දැනට පිහිටුවා ඇති Sri Lanka Institute of Nanotechnology(SLINTEC) ආයතනය මගින් මේ පිළිබද පරීක්ෂණ පැවැත්වීම හා ඒවාට අදාල පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම පිළිබද කටයුතු කිරීමට නියමිතයි.ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විශාල පිරිසක් මේ වන විටත් මෙම ව්‍යාපෘතිය හා එක්වී ඇත.තවත් වසර තුනක් ගත වන විට ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණය පිළිබද විශාල ආයතනයක් හෝමාගම ප්‍රදේශයේ බිහි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.‍මෙය ලොව ප්‍රථම නැනෝ තාක්ෂණ උද්‍යානය වන අතර මේ සදහා ඇ.ඩො.මිලියන 10 ක ආයෝජනයක් සිදු කරන අතර ඒ සදහා පුද්ගලික අංශයේ ද ආයෝජන ලබා ගැනීමට නියමිතයි.මීට අමතරව පාසල් විෂය මාලාවට මෙම තාක්ෂණය අන්තර්ගත කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇත.අප කලාපයේ අනෙකුත් රටවල් හා සසදන විට තොරතුරු තාක්ෂණය අතින් අප රට ඉතා පහල මට්ටමක සිටී.මීට හේතුව වන්නේ අප තොරතුරු තාක්ෂණය නැමති බස් රථය  තුලට නිවැරදි කාලයේ නැග ගැනීමට නොමැති වීමයි.නමුත් නැනෝ තාක්ෂණය තවම අප අසල පවතී.එය තුලට හැකි ඉක්මනින් ගොඩවී රටේ ඉදිරි අනාගත සංවර්ධනයට උර දීම වහා කල යුතුය.මේ අනුව බලන කල ඉදිරියේ වන තාක්ෂණ විප්ලවය සදහා අප රට මනා සූදානමක් ඇති බව පැහැදිලි වේ.

ත්‍රස්තවාදය - TERRORISM

ත්‍රස්තවාදය වර්තමානයේ ලොව පුරා උඩ දිවූ පිළිලයක් වී හමාරය. ත්‍රස්තවාදය නිසා නැතිවී ගිය මාහැගි ජීවිත සංඛ්‍යාව අපමණය.විනාශ වූ දේපළ වල වටිනාකම තක්සේරු කිරීමද අපහසුය.

       දෙපිරිසක් අතර ඇති වන ගැටුමක් උග්‍ර වෙත්ම එය ක්‍රමයෙන් ත්‍රස්තවාදය බවට පත්වෙනවා යයි කීමෙහි කිසිදු දොසක් නැත.වර්තමානයේ විවිධ පිරිස් අතර විවිධ ගැටුම් ඇතිවී තිබේ. නැන්දම්මලා ලේලීන් හා සටන් වදිති.සේවකයන් සේව්‍යයන් හා සටන් වදිති.ආණ්ඩු පක්ෂය විපක්ෂය හා සටන් වදිති.සිංහලයෝ දමිළයින් හා සටන් වදිති.ඉරාක ජනතාව ඇමරිකානුවන් සමග සටන් වදිති.ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන් සමග සටන් වදිති.මෙය ලොව පුරා දක්නට ලැබෙන විවිධ ආකාරයේ ගැටුම්ය.මේ අතර සාමාන්‍ය ජනතාව ජීවන වියදම සමග කරන්නා වූ සටනද සුළු කොට තැකිය නොහැකි මහා සංග්‍රාමයකි.එහෙත් අසරණ ජනතාව ජීවන වියදම පිළිබද මැසිවිලි නගනු විනා අවි ගෙන ත්‍රස්තවාදීන් බවට පත්ව ත්‍රස්තවාදය මගින් තම ජීවන සටන ජය ගන්නට නොසිතති.

       දෙපිරිසක් අතර ඇති වන මෙම යුද්ධය උග්‍ර වෙත්ම එය ත්‍රස්තවාදය බවට පත්වේ. ත්‍රස්තවාදය මිනිසා නොමිනිසා නොහදුනයි. මනුෂ්‍යත්වයේ සුවද ආඝ්‍රාණය නොකරයි. මානුෂීය හැගීම් කෙරෙහි ගරු නොකරයි. සියළු දෙනාගේ ජීවත් වීමේ අයිතිය ගරු නොකරයි.තම විරුද්ධවාදීන් කෙසේ හෝ විනාශ කර දැමීම ත්‍රස්තවාදීන්ගේ අරමුණයි. ත්‍රස්තවාදීන් කිසි විටෙක අත්තූපනායික ධර්මය අනුගමනය නොකරයි.එනම් ඔවුන් තමා උපමා කොට අන් මිනිසුන් පිළිබදව නොසිතයි.ඔවුන් තම මතකයෙහි රුවා ගත යුත්තක් පහත දැක්වේ.

    සබ්බේ තසන්ති දණ්ඩස්ස-සබ්බේ සං ජීවිතං පියං

       අත්තා‍නං උපමං කත්ව-නහනෙය්‍යන ඝාතයේ”

 “කිසිදු සත්වයෙකු හිංසාවට අකමැතිය.සියලු දෙනාම තම ජීවිතයට කැමතිය.තමා උපමා කොට අන් අයට හිංසා නොකරන්න,නොමරන්න”

       මෙසේ ගෙන හැර දැක්වූ බුදු වදන ‍බුදුදහම අනුගමනය කරන්නන් හා නොකරන්නන් හට එකසේ පොදුය.

       සියළු දෙනාම මනුෂ්‍යයෝය.මනුෂ්‍යන් හැටියට ඔවුන්ට ඇත්තේ සමාන හැගීම් හා අරමුණුය.ආගම් හා ජන වර්ග අතින් වෙනස් වුවත් අප සියළු දෙනාගේ කයෙහි එක පාටැති රුධිරය දිව යයි.විද්‍යාත්මක පදනම මත අප සියළු දෙනා එකම ඝනයකටත්  එකම විශේෂයකටත් අයත් වේ.Homo sapien sapiens යන නූතන නාමය සියළු දෙනාටම පොදුය.

       තනි අතකින් අත්පුඩියක් ගසන්නට නොබැරිවා සේම යුද්ධයක් කිරීමට එක් පාර්ශවයක් තිබීම ප්‍රමාණවත් නොවේ.අත් දෙකකින් අත්පුඩි ගැසිය යුතුවා සේම යුද්ධයක් කිරීමට දෙපාර්ශවයක් තිබිය යුතුය. ඒ නිසා යුද්ධයක් ඇතිවීමේ හා ත්‍රස්තවාදය මුල් බැස ගැනීමේ වරද දෙපාර්ශවයම බාර ගත යුතුය.

       සිංහල මවක් තම දරුවාට දක්වන ආදරය සිංහල ආදරය ලෙසද මුස්ලිම් මවක් තම දරුවාට දක්වන ආදරය මුස්ලිම් ආදරය ලෙසද ලේබල් කල නොහැක. එය අර්ථ ගැන්විය හැක්කේ හුදෙක් මවකගෙන් දරුවකුට ලැබෙන ආදරයක් ලෙසය.සියළු දෙනාටම සමාන අයිතිවාසිකම් ඇත.සියළු දෙනාටම ලොව ජීවත් වීමේ අයිතියද ඇත.සමාජයක් තුල වෙසෙන සියළු දෙනා මතක තබා ගත යුත්තේ අන් අයගේ අයිතිවාසිකම් උදුරා නොගැනීමටය,සහෘදයෙකු ලෙස තම යුතුකම් ඉටු කිරීමටය.එවිට ත්‍රස්තවාදයට හේතු වූ මුල් බීජය මැලවී යන බව නොඅනුමානය.